Wednesday, September 5, 2012

මීමුරේ රැයක් (Night on the stone at Meemure)

පංසලට ගියා සාදු මහියංගනේ වැඩලා. ඉතිං මොනවා කරන්නද කියලා අපි අර තිබුන කඩෙන් සැමන් ටින් එකක්, සහ සම්බෝල පැකට් සහ තව අඩුම කුඩුම කීපයක් අරගෙන හුන්නස්ගිරියෙන් ගත්ත උනු පාන් ගෙඩි දෙකත් අරගෙන මලු කරගහගෙන යන්න සෙට් වුනා. ඉතිං අපි ටික දුරක් යනකොට යාලුවො හමුවුනා. හ්ම් යාලුෙවක් අහලා තිබුනා ඇයි පන්සලේ හාමුදුරුවො නැතිව නවතින්න බැරිද කියලා. ඇත්තටම පන්සලේ බුදුගේ පවා වහලා එක හාමුදුරුවො නමයි පන්සලටම ඉන්නෙ. ඉතිං අප පංසල ගැන තියෙන අදහස ටිකක් අත ඇරලා දැම්මා. 
අපි කලිං නොදන්න යාලුවෙක් මගදි හමුවුනා. " අපි ආවෙ මචං බයික් වලිං. කඹ එහෙම අරං ආවෙ ලකේ ගල නගින්නම බලාගෙන. මෙහෙට එනකොට දෙක විතර ඇති. මෙහෙ බලන්න දෙයක් නෑ බං. මෙලෝ රහක් නෑ. අර ඉන්ටනෙට් එකේ මහ ලොකුවට දාල තිබුනට මෙහෙ ඇති තොප්පියක් නෑ බං. වතුරත් නෑ හරියට. උඹලා කොහෙද යන්නෙ? අපි හවසම නගින්න කියලා හැදුවෙ. ගමේ උන්ගෙන් අලි කචල් එක. උං කියනවා හැන්ද වෙලාවෙ නගින්න එපාලු හුලඟලු. සෝඩා බෝතලයක් ගන්නත් කිලෝමීටර පහක් විතර යන්න ඕනි ඊළඟ කඩේට.. ඉන්ටෙනෙට් එකෙ තිබුනෙ නං කඩෙං බඩු ගත හැකි අනම්මනම් කියලා. මෙහෙ මොකුත් නෑ බං. අඩුගානෙ ලේසියෙන් නාන්න වතුරවත් නෑ." කියලා යාලුවා කීවේය. 

අපෙනුත් ප්‍රශ්ණ ඇසුමුත් ඔහු ඇසු ප්‍රශ්ණවලට පිළිතුරු අපි සොයාගන තිබුනේ නැත. ඒ නිසා එවෙලෙට හමු වූ බොරු කිහිපයක් ඇදබා නිකා සිටියෙමු. 
පාර දිගට ගම්මිරිස් වල ඇට ගලවපු කිනිති තිබුනා. ගම්මිරිස් ඇට ගැලව්හම ඉතිරි වෙන කිනිති පාරට දාන සිරිතක් තියෙනවා. කඩේ උන්දැලත් ගම්මිරිස් ගැලෙව්වා මතකයි.. මේ රෝසමල කඩේ ඉස්සරහ තිබුනෙ. බොහොම පොඩි එකක් බොඳවෙලා තියෙන්නෙ මගේ පොටෝග්‍රැෆි ආනුභාවය නිසා තමයි. කඩේ පේමන්ට් එක ළඟත් ලස්සන මලක් පිපිලා තිබුනා. එයා ගම්මිරිස් අතුගගා හිටියෙ.. ඒත් ඒ දිහා දෙතුං පාරක් බලා උන්නාට මොකෑ ටික වෙලාවකින් ඒකිගේ අම්මා කෑ ගැහුවාම "ඇයි මයෙ අම්මා" කියලා ගේ ඇතුලට දිවගෙන ගියා.

මේ තියෙන්නෙ මීමුරේ බෝගහ ළඟ ඉඳන් බැලුවාම පේන දර්ශනයක්. මේ කමත එයාලා කුඹුරු කාලෙට පාවිච්චි නොකරන එකක් වෙන්නත් පුලුවනි. ගම්මිරිස් ඇට වේලන්න මේ වගේ කමත් හදාගෙන ඒවාට ගොම මැටි ගාලා භාවිතා කරනවා. ගම්මිරිස් ඇට වලට වැලි යයි කියලා අපි හිතුවාට ගොම මැටි ගාලා බොහොම යසට තියෙනවා මං දැක්කා. සිමෙන්ති දැම්මා වගේ බොහොම තදට තියෙන කමතකුත් දැක්කා. ඒත් ඉතිං හුලං හමනකොට උඩිං එන දූවිල්ල නං ගම්මිරිස් ඇට වලට වැදෙනවා තමයි. 
මේ මීමුරේ ගම කොනේම හරියේ තියෙන ලයිට් කණුවක්. මේ කණුව පුපුරලා තිබුනෙ. ඒ වගේම කණුවෙ ඇල පැත්තට ගස් දෙබලක් ගහලා තියෙනවා පේනවා ඇති. මේ කණු දාල දැන් කාලයක් වෙනවාලු. ඒත් ලයිට් නැහැලු. මීට කලිං රාජ්‍ය නොවන සංවිධානයකින් ග්ලිරිසීඩියා භාවිත කරලා විදුලිය ලබාදෙන්න ව්‍යාපෘතියක් තිබුනත් ඒ හරහා ගමට විදුලිය ලැබුනෙ දවස් තුනක් විතරයි කියලා තමයි ගම්මු කියන්නෙ. හද්දා පරණ දිරපු යන්ත්‍ර වගයක් ඒ රාජ්‍ය නොවන සංවිධානයෙන් ගෙනැල්ලා වැඩ කරපු නිසා දවස් තුනක් භාවිත කරාට පස්සෙ ඒ යන්ත්‍ර වලින් නැවත වැඩක් ගන්න බැරි තත්වයටම දිරලා තිබුන කියලයි ගම්මු කිව්වෙ. අපේ ගෙවල් පැත්තේත් මේ වගේ ව්‍යෘපෘති තිබුනා. සුනාමි කාලෙන් පස්සෙ එක්තරා සංවිධානෙකින් කොළඹින් ඇවිත් කොම්පියුටර ගෙනැල්ලා ළමයිට එන්න කියලා උත්සවයක් තිබුනා. ළමයි කොම්පියුටර ඉ්සසරහින් වාඩි කරලා පින්තූර ගත්තා. සුද්දො ඇවිල්ලා උස්සවේ කතා කලා.. ඒත් ඊළඟ දවසෙ හදපු බිල්ඩින් කෑල්ල ඉතිරි වෙද්දි අර කොම්පියුටර සහ මේස පුටු ඔක්කොම ආයිත් කොළඹ ගියා. 
මේ වගේ රාජ්‍ය නොවන සංවිධානවල වැඩකරන ඇත්තො ඉන්නවානං කියන්න තියෙන්නෙ අනේ ඔහෙලා හිතං හිටියට ගම්වල මිනිස්සු හෙන බයියො ඕව තේරෙන් නෑ කියලා හෙම එකක් නෑ. ඒ මිනිස්සුන්ට වංචා හොඳට තේරුං යනවා. ඒත් ඒවා පස්සෙ එලවං ගියාම අවසානෙ ඒවාට යන කාලෙ සල්ලි නිකංම නාස්ති වෙන නිසා තමයි  ඒ මිනිස්සු නිකං ඔහේ බලා ඉන්නෙ. සල්ලි කොල වලට තමුංගෙ අම්මා අප්පා පවා පාවදෙන මට්ටමට ගම් වල ඉන්න මිනිස්සු තාම පත්වෙලා නෑ..ඒ වගේම හොරෙක් උනත් ගෙදට්ට ආහම තේවතුර ඩිංගක් දිලා කතාබහ කරලා යවන එක තමයි ගැමි කම කියන්නෙ. ඒත් ඔයි සමාර එන් ජී ඕ මහත්තයාල හිතනවා ඇති...අපි අරුංව මෝර කරලා ගතමන්ට් එක ගත්තට පස්සෙත් මේ යක්කු අපිට තාම තේ වතුර දෙනවා කියලා..
අපි රෑට නවතින්න තෝරගත්තෙ ගල් තලාවක්.බොහෝ දුරට සිඳීගිය දොලපාරක් මත තිබුන තඩි ගල් ගෙඩියක සමතල පෘෂ්ඨය අපේ තාවකාලික රාත්‍රී වාසය බවට පත් වුනා. මෙතන පහල හිටියා මී හරක් තඩියෙක්. ඌ ටිකක් අනින සුලු රලු එකෙක් කියලා තමයි මී හරකාගේ සුවදුක් බලන්ට ආපු අයියා කිව්වෙ. සාමාන්‍ය න්‍යායන් අනුව සිඳීයමින් තියෙන දොළපාරවල් අසල නවාතැන් ගැන්ම සුදුසු නෑ. මන්ද රාත්‍රි කාලේ දිය සොයා එන අතුරුදායක සතුන්ට අප ගොදුරු විය හැකි නිසා. අතුරුදායක සතුන් කියා සාමාන්‍යයෙන් මේ ඒරියා එකේනං ඉන්නෙ සර්පයො විතරයි. මොකද මේ දොලපාර තිබුනෙ කැලෑවෙ නෙමෙයි ගම මැද හරියෙන්. කෝකටත් කියලා අපි ගිනිගොඩක් ගහ ගත්තා.

 ඒ අතර වෙලාවක සම්බෝල, සැමන් සහ හුන්නස්ගිරියෙන් උනුවෙන් ගතපු ඒ වෙලේ නිවිලා තිබුන පාන් කඩ කඩ අනුභව කරලා දැම්මා. අපේ වෙල් ප්ලෑනින් කොච්චරක්ද කියනවා නං අඩු තරමේ පිහියක් වත් අපි ගෙනහිල්ලා තිබුනෙ නෑ. හොඳ වෙලාවට සැමන් ටින් එක අර කඩන්න ලේසි විදියට මුද්දක් එක්ක තිබුනෙ. බොන්න තිබුනෙ 7අප් තමයි. වතුර තරං ඔය ස්ප්‍රයිට් 7අප් දිරවන්නෙ නෑ. ඒත් ඉතිං බොන වතුර හොයං තව රුපියල් දොලහක බස් එකේ යන දුර විතර තිබුනා යන්න. ඒ නිසා හතප් බීලා නිකා උන්නා.
මේ තියෙන්නෙ අපි ගහගත්ත ගිනිගොඩ. අපි කලිං දවල් එලිය තියෙන වෙලාවෙ දර කෝටු එකතුකරගෙන තිබුනා. වතුර තියෙන කාලෙ දොල දිගේ පාවෙලා ආපු ටිකක් විසාල කොට කෑලි දෙකකුත් අපි එකතු කරගත්තා. දර කෝටු සහ දරනං අපිට ඒ තරම්ම අපාසුවකින් තොරව සපයාගන්න පුලුවන් උනා. අමාරුවෙන් කඩදාසි කොළ පත්තු කරලා ගිනිකූරු හත අටක්ම නාස්ති කරලා යාන්තං ගිනිගොඩ අවුලා ගත්තා..මඳක් විසල් කොට කිහිපයක් තිබු බැවින් එලිවෙන තුරුම ගිනිගොඩ දැල්වි තිබුනා. 
මේ තියෙන්නෙ රෑ බයංකර වෙලාවට දොලපාරෙ දර්ශනයක්. එතැන වාඩිවෙනකොට ම වාගේ අපිට අයියා කෙනෙක් හමු වුනා..එයා තමයි මම හිතන්නෙ පහල බැඳලා උන්න මී හරකාගේ අයිතිකාරයා. ඉතිං මේ මී හරකා බොහොම ඉක්මනට තරහා යන එකෙක් කියලා ඒ අයියා කිව්වා. සමහර විට බොරු වෙන්නත් ඇති. අපි රෑ නැගිටලා හරකා මරං කයි කියලා හිතුවාද දන් නෑ. ඒ මනුස්සය තුන් පාරක් අපි ඉන්න තැනට ආවා. අලුත් අය ගැන සැක හිතිලා විස්තර හොයනවාද දන් නෑනේ. තුංවෙනි පාර ආවේ අපි ගිනිගොඩ ගහලා නිදාගන්න ඔන්න මෙන්න තියෙනකොට. ඈතින් එන ටෝච් එලියට අපි ටිකක් බය උනා. කියන්න බෑනෙ රෑ ඇවිත් ආයුධ පෙන්නාල හෙම අපේ සල්ලි ක්‍රෙඩිට් කාඩ් හෙම ගෙනියෑවොත් හෙම..  එයා ඇවිත් ටික වෙලාවක් කයි ගගහ හිටියා තුන් පාරම. මං හිතන්නෙ මිනිහා හිතන්න ඇති අපි අරක්කු බියර් බොන්න හදනවා කියලා. අරක්කු ටිකක් අරං ආවනං මිනිහටත් සොට් එකක් දීල බොන්න තිබුනා. ඒත් පෝය දවස නිසා අරක්කු අපි එක්ක ඇවිත් තිබුනේ නෑ. 
අයියා ඇවිත් ඒ බොහෝදුරට දිය සිඳී ගොස් තිබු දොල පාරෙ පොඩි වලකට ඇවිත් බොහොම පරිස්සමට දිය කලත්වන්නෙ නැතුව ඇඟපත හෝදාගත්තා. ඒ අපි ඉඳපු තැනට පෙනෙන නොපෙනෙන දුරකින් ඉඳං තමයි.

මිනිහා පස්ට කයි කාරයෙක් වගේම ටිකක් දැනුං තේරුං තියෙන කෙනෙක්. මට පස්නයක් තිබුනා මේ මීහරක්මද කුලු මීමො කියන්නෙ කියලා දැනගන්න 

අයියෙ මේ ජාතියෙ උන්මද කැලේ ඉන්නෙ..? 
" ඔව් කැලේ ඉන්න ජාතියෙ උන් සැරයි. උං අල්ලන්න බෑ. කැලෑ වැදිලා. මූත් ටිකක් සැර වැඩියි..මේ පාර වැඩ කරලා මූ ගිහිං දානවා කැලේට. සමහර උන් අල්ලන්න බෑ සැරයි. සමහර උන් ඇල්ලුවත් ආම්බාන් කරන්න බෑ...ඉතිං අපි ඔය ටිකක් හීල වගේ ඒවුන් තමයි අල්ලගන්නෙ. එතකොට කැලේ හැමදාම සැර මීවො ටික ඉතුරු වෙනවා. එ සැර මීමොම හැමදාම ඉන්න නිසා උනුයි මුනුයි වෙනස්..හැමදාම ඒ කැලෑ මීමොන්ට කරදර කරන්නෙ මනුස්සයො නේ. ඒ නිසා මනුස්සයෙක් පේන්න බෑ උන්ට.. පන්නනව හැටට හැටේ. මේ කඳු හෙල්ය කියලා නෑ මීමො ඉන්නවා. " කියලා කිව්වා

මේ දිහාට වැහැලා නෑනෙ ගොඩ කාලෙයක් කුඹුරු පාලුවෙලා වගේ පේන්නෙ? ඒ මමය
" හුම්. දැන් මේ පස්වෙනි නැත්තං හයවෙනි මාසෙ යන්නෙ හරිහමං වරුසාවක් නැතුව. වලාකුල් ඇවිත් පහත්වෙන්න නැතුව හුලගට ගහං යනවා. හුලං අල්ලනවනේ සැරට. ගොයිතැන් තිබුනාට ඒ තරං හරියෑමක් නෑ. කොහෙද මේ අපේ ගොයියලා ලෙඩහැදෙයි කියලා පහු වෙනවා නේ. වැස්ස පටන් ගත්ත ගමන්ම වැපිරුවාම ලෙඩ වැඩියි කියලා පහු වෙලා තමයි වපුරන්නෙ.. එතකොට ඉතිං ටික කලක් ගිහිල්ලා වතුර නැතිවුනාම කුඹුරු පාලු වෙලා යනවා. හොඳටම වැස්ස කාලෙක ඇරෙන්න ඔක්කොම කුඹුරු කරන්න නං ලැබෙන්නෙ නෑ.."

ඇතින් පේන ලයිට් කනුවක් පෙන්නා...ලයිට් නං ඇවිත් නේ යැයි මා කීමි..
" කණු දාල ගොඩක් කල් ගියා වයර් අදින්න. සමහර විට ඊළඟ චන්දෙ වෙයි වෑර් වල ලයිට් යනකොට. පහුගිය දවසෙ ස්වර්ණවාහිනියෙ පෙන්නුව නේ අපේ පාර. අපේ ගොයියලත් ඉතිං ඔන්න ඔහෙ හිතේ හැටියට බැන්න. මං හිතන්නෙ මේ පාරනං තරහටත් එක්ක හදන එකක්ම නැද්ද දන්නෙත් නෑ..සල්ලි පාස්වෙලා කියලා කතාවක් තියෙනවා..චන්ද කාලෙටනං ඩෝසරය්ක ඇවිත් වැඩකරනවා පාරෙ."
මේ පැත්තකින් ගිනිගොඩේ කෑල්ලක් පේනවා. උදේ වෙනකොට ඉතිරි වෙල තිබුනෙ දර පතුරු කීපයක් විතරයි. ලොකු කොට තඩියක් නං පත්තු වෙවී තිබුනා. අපි ඇලවුනාට නින්ද නං ආවෙ නෑ රාත්තිරියෙ. මොකද පොද වැහි හත අටක්ම ආපු නිසා. වලාකුලු ඇවිත් පොද වැස්සක් දාල ආයෙත් ආවට වැඩිය වේගෙන් හුලඟට ගහගෙන ගියා අපි දැක්කා. ඔන්න එක වෙලාවක ටිකක් තදින් වහින්න වගේ පොද වැහි එහෙන් මෙහෙන් එනවා. අපේ ඇඟටත් වතුර බිංදු වැටෙන්න ගත්තා. හත්තලාමයි දැං තෙමෙන්න තමයි වෙන්නෙ... කුඩාරමක් සෙට් කරගන්න ඕනි නැත්තං ගෙයක් සෙට් කරගන්න ඕනි ඒ දෙකම නැතුව මොන උලව්වට ගල උඩ නිදාගන්න තෝරගත්තද දන්නැ කියලා ඒ වෙලාවෙ හිතුනා.

මං ඇහැරුනා..ගිනිගොඩෙත් ලොකු කොට දෙක තුනක් පත්තුවෙනවා පෙනුනා. හඳ එලිය ඇවිත් පලාතම එලියයි. මං හිතුවා ඒකාන්තයෙන්ම එලිවේගෙන එනවා වෙන්න ඇති කියලා. ඉක්මනට අනික් බුවාල දෙකට අවදි කලා. මචං දැන් එලිවෙලා වගේ..දැං මේ පොදක් එනවා..තව ටිකකින් සැරට වහී...අපි යමුද අර කඩේටවත් කියලා ඇහුවා...ඒ කියන අතරෙ මං දමං හිටපු බෙඩ් ෂීට් එකයි තව තිබුන අඩුම කුඩුම ටිකයි මල්ලට දාගත්තා. ඒක දැකපු අනික් බඩු දෙකත් රෙදි පෙරෙදි අනං මනං මල්ලට දා ගත්තා. ඒ අතරෙ මං කිව්වා " කුකුලෙක් වත් සද්දෙ දාන්නෙ නෑනෙ බං" කියලා..එකෙක් කිව්වා මතකයි ගමේ උඹ වගේ කුකුල්ලු නැතිව ඇති බං කියලා. ඉතිං බඩු සැට් එක අකුලං සෙරෙප්පු හොයං යන්න ලෑස්ති වෙලා නිකමට වගේ වෙලාව බලන්න ඕනි කියලා අනික් දෙන්නා සැරසුනා.. මං ඒත් කිව්වා ඕනි නෑ බං මොන වෙලාවද දැං නං හය විතර වෙලා ඇති කියලා...

කෝකටත් කියලා පෝන් එක ඇදලා ඔන් කරලා වෙලාව බැලුවා. වෙලාව පාන්දර 1:50යි. ඒ කියන්නෙ කස්ටිය එලි වෙලා කියලා නැගිටලා තියෙන්නෙ මහ රෑ 1:50ට.ඒකෙ වෙලාව වැරදි ඇති කියලා මාත් ඔන් කරලා වෙලාව බැලුවා. කතාව ඇත්ත. ආයෙත් ඉතිං තුන්දෙනා එක්කම සැපට හිනාවෙලා ගිනිගොඩට ආයෙත් දර ටිකක් දැම්මා. ඒ එක්කම වගේ අර වැහැගෙන ආපු වැහි කෝඩෙ ටිකක් ඈතට ගියා. ගල උඩ ටිකක් තෙමිලා වගේත් තිබුනා පොද වැස්සට ඒත් ගිනිගොඩ ගහලා විනාඩි දහයක පහලවක පොඩි කයියක් ගහනකොට වේලිලා ආව ගල උඩ..ලෙසටම.. ඉන් පස්සෙ ඔලුවෙ ඉදලා පොරවගෙන ගිනි ගොඩට කිස්ටුවෙන්ම තුං දෙනාම නිදා ගත්තා. ඕන් හයහමාරට  විතර මට ඇහැරුනා..ඒ වෙලේ නං ඇත්තම ඉර එලිය වැටිලා තිබුනා. කුරුල්ලොත් කෑ ගහනවා ඇහුනා. එතකොට තමයි මතක් උනේ අපි එලිවෙලා කියලා කලිං සීට් අනං මනං අකුලන වෙලාවෙ එකකුරුල්ලෙක් වත් සද්ද කලේ නැ කියලා..

11 comments:

  1. මී මුරේ රැයත් නරකම නෑ නෙව...

    ReplyDelete
  2. ෂා.. කියවන්න මෙච්චර ලස්සන නම් යන්න තිබුනනං කොහොමද....? දුක තමා ඉතිං..

    ලියන එකටවත් පිං දෙන එක තමා....

    ReplyDelete
  3. මීමුරේ පහු ගිය කාලෙ අපේ අළුත් නිළධාරියො ටික හිගින් කුඹුරු කෙටුවා ඒගොල්ලන්ගේ ට්‍රේනිං එකේදි...

    ReplyDelete
  4. අපිත් මීමුරේ ගිහිං කැලේ මැද්දෙ රාත්‍රියක් ගත කලා... සියලු අඩුම කුඩුම තිබ්බත් ඔම්ලට් එකක් දාගන්න එකක් තිබ්බ නැති නිසා බෙලෙක් පිගානකට පොල්තෙල් ගාලා ඔම්ලට් දැම්මා ගිණිමැලේට අල්ලලා බයිට් ඉවර වෙනකොට...

    ReplyDelete
  5. මරු බං. ඉතිරි කෑල්ලත් ඉතිං ලියහං බුලත් දෙනකං ඉන්නෙ නැතුව.

    ReplyDelete
  6. අපේ හීන වලට ලාබෙට තටුදෙන පිනෙන් මේවගේ ගමන් තව සෙට්වේවා...
    නොගියට මොකෝ,ගියා වගේ තමා මේක බැලුවම.

    ReplyDelete
  7. මේක නන් සිරා ගමනක් බං...

    ReplyDelete
  8. කව්ද බන් ගමන සෙට් කලේ? අපිවත් එක්ක යන්නකෝ

    ReplyDelete
  9. ඇයි ඔයාලගේ පොටෝ දන්නේත්තේ ?

    ReplyDelete
  10. හරිම සුන්දර අත්දැකීමක් වගේ.......................
    මට ඩෙල්ෆ්ට් දූපතේ ගතකළ පැය 24 මතක්වුණා....

    ReplyDelete

  11. “කඩේ පේමන්ට් එක ළඟත් ලස්සන මලක් පිපිලා තිබුනා. එයා ගම්මිරිස් අතුගගා හිටියෙ.. ඒත් ඒ දිහා දෙතුං පාරක් බලා උන්නාට මොකෑ ටික වෙලාවකින් ඒකිගේ අම්මා කෑ ගැහුවාම "ඇයි මයෙ අම්මා" කියලා ගේ ඇතුලට දිවගෙන ගියා.“

    සුන්දරයි අප්පා...

    ReplyDelete